සාමකාමී උද්ඝෝෂණය විසිරෙව්වේ පගාමරුවෙක්

ජාතික නිදහස් පෙරමුණ මගින් සංවිධානය කළ සාමකාමී විරෝධතා ව්‍යාපාරය පොලිස්බලය යොදා විසුරුවාහැරීමට ක්‍රියා කළ උසස් පොලිස් නිලධාරියා පගාමරුවෙක් බවත්,එම විරෝධතාවය මැඩපැවැත්වීමට ක්‍රියා කළේ එක්සත් ජාතීන්ගෙන් පගාව ගත් නිසා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස-ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

තමන්ගේ විරෝධතා ව්‍යාපාරය නිසා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ සේවකයින්ට පිටතට එන්නට නොහැකි සේ අවහිර වුණත් උද්ඝෝෂණය සිද්ධවුණේ සාමකාමීව බවත්,උද්ඝෝෂණයකදී මෙවන් සුළු සුළු අවහිරතා සිදුවිය හැකි බවත් හෙතෙම කියා සිටියි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කර තිබෙන විශේෂඥ කමිටුව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් බැන්කී මූන් මහතා අද දිනයේ ප්‍රකාශයක් සිදු කළ යුතු බව හෙතෙම කියා සිටියේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

බෑන්කී මූන්ගේ කමිටුව ඉවත්කර ගැනීම පිළිබඳ අද දිනයේ ප්‍රකාශයක් නොකළහොත් දැනට ක්‍රියාත්මක උපවාසය මරාන්තික උපවාසයක් දක්වා ගෙන යන බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

රට වෙනුවෙන් තම පක්ෂය ගනුලැබූ මෙම ක්‍රියාමාර්ගයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනා සහය විය යුතු බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජතාන්ත්‍රික විදිහට විසඳාගත යුතු ප්‍රශ්න තිබෙන බවත්,මෙම ප්‍රශ්නය රාජතාන්ත්‍රික විදිහට විසදාඳාගත නොහැකි බවත් ,තමන්ගේ ක්‍රියාකලාපයන් නිසා බෑන්කී මූන් පාඩමක් ඉගෙනගනු ඇති බවත් වීරවංශ මහතා පැවසීය.

බැන්කී මූන් මහතා පත් කර තිබෙන කමිටුවට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ ඊයේ දිනයේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් උපවාසයක් ද ආරම්භ කරන ලදී. .

එම උපවාසය තවදුරටත් පැවැත්වෙන අතර මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ උපවාසය පැවැත්වෙන අතරතුරදීය.
(July 7, 2010)

. Bookmark the permalink.

Leave a Reply