හමුදා සාමාජිකයින්


මේ වසර තුළ ති‍්‍රවිද හමුදා සාමාජිකයින් 17,255 දෙනෙකුට පූර්ණ භූමි පදක්කම ප‍්‍රදානය කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශ 2010 වසරේ ප‍්‍රගති වාර්තාවට අනුව ඉන් පූර්ණ භූමි පදක්කම් 10,925 ක් ලබාදී ඇත්තේ යුද හමුදා සාමාජිකයන් හටයි. නාවික හමුදා සාමාජිකයින් 5,910 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 420 දෙනෙක් මේ වසර තුලදී පූර්ණ භූමි පදක්කම් හිමිකර ගත්තා. මේ වසර තුලදී උත්තම සේවා පදක්කම හිමිකරගත් ති‍්‍රවිද හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 200 ක්. යුද හමුදා සාමාජිකයින් 5,140 දෙනෙකු දීර්ඝ සේවා සන්නද්ධ සේවා පදක්කම් හිමිකරගත් අතර, නාවික හමුදා සාමාජිකයින් 371 දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයින් 402 දෙනෙකු දීර්ඝ සේවා සන්නද්ධ සේවා පදක්කම මේ වසර තුලදී හිමිකරගෙන තිබෙනවා. දේශ පුත‍්‍ර සම්මානයට මේ වසර තුලදී හිමිකම් කී ති‍්‍රවිද හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 1,643 ක්. මීට අමතරව කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කිරිමේ මානුෂීය මෙහෙයුමට දායක වූ ති‍්‍රවිද හමුදා සහ පොලිසියේ ස්ථිර සහ ස්වෙච්ඡුා බලසේනාවන්හි සියලූම නිලධාරීන්ට හා සෙසු නිලයන්ට උතුර නැෙඟනහිර දෙපළාත සඳහා මානුෂීය මෙහෙයුම් පදක්කමක් ප‍්‍රදානය කිරිම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදු රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් හා ඥාතීන් සඳහා උපහාර වශයෙන් උත්තම පූජා ප‍්‍රණාම පදක්කමක් ද මේ වසර තුලදී පිරිනමා තිබෙනවා.

Leave a comment

ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරුම


අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ සයවන ගුණ සැමරුම සහ සුනාමි විපතින් මියගිය ජනතාවටත්, රට දැය වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණ විරුවන්ටත් පිං පතා අද (10) සිට විශේෂ පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ නිමිත්තෙන් අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී විජයාරාම රජමහා විහාරයේදී ලේ දන් දීමේ පිංකමක් පැවැත්වෙන අතර පස්වරු 7.00ට බෝධි පූජාවක් පැවැත්වේ.

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන් විසින් සිදුකරනු ලබන ධර්ම දේශනාවක් හෙට පස්වරු 7.30ට විජේරාම මංසන්ධියේදී පැවැත්වීමට නියමිතය.

එසේ ම ලබන 12 වනදා මහා සංඝරත්නය 61 නමක් වෙනුවෙන් දානමය පූජා පිංකමක් ද විජේරාම මංසන්ධියේදී සිදුකෙරේ.

Leave a comment

තායිලන්තයේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිසකට නිදහස


තායිලන්තයේ බැංකොක් නුවර දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් අතරින් පිරිසක් නිදහස් කර ඇතැයි වි‍දේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මේ බව විදේශ කටයුතු අමාත්‍යාංශය‍ වෙත දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස වලංගු වීසා කාලය ඉක්මවා බැංකොක් නුවර රැදී සිටීමේ හේතුව මත අත්අඩංගුවට පත්ව තිබුණි.

එහෙත් තායිලන්ත පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී ඉන් කිහිපදෙනෙකු සතුව වලංගු වීසා සහිත ගමන් බලපත්‍ර තිබූ බැවින් ඔවුන් නිදහස් කර ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

පසුගිය බදාදා බැංකොක් නුවර රැදී සිටියදී ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු තායිලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
Viewer Comments

Leave a comment

ජ -පුර සරසවි සිසුන් 109 ගේ පන්ති තහනම ඉවතට


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටි සිසුන් අතරින් 109 දෙනෙකුගේ පන්ති තහනම ඉවත්කිරීමට විශ්ව විද්‍යාලයීය පරිපාලනය තීරණය කර තිබේ.

මෙය ශිෂ්‍ය අරගල හරහා ලැබූ ජයග්‍රහණයක් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

තවදුරටත් පන්ති තහනමට ලක්ව සිටින ශිෂ්‍යයින් වෙනුවෙන් ද අඛණ්ඩ අරගලයේ යෙදෙන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සංජීව බණ්ඩාර අවධාරණය කරයි.

මේ අතර අදාළ ශිෂ්‍යයින්ගේ පන්ති තහනම ඉවත් කිරීමට ශිෂ්‍ය අරගල කිසිසේත් හේතු නොවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා පැවසුවේය.

විශ්ව විද්‍යාල විභාග සමය ආරම්භ වී ඇති බැවින් පන්ති තහනමට ලක්වූ ශිෂ්‍යයින් පිළිබඳ සානුකම්පිතව සිතාබලා මෙම තීරණය ගැණුනු බව උපකුලපතිවරයා පෙන්වාදෙයි.

Leave a comment

මහාධිකරණ නියෝගය පරිදි උදුල් ඇප මත මුදාහැරීමට නියෝග ලැබෙයි


මහාධිකරණය මගින් ඊයේ(09) දිනයේදී ලබාදුන් නියෝගය පරිදි දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

උදුල් ප්‍රේමරත්නගේ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සැකකාර උදුල් ප්‍රේමරත්න මහත්මිය රුපියල් 50, 000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට ඊයේ නියෝග කරනු ලැබීය.

එමෙන්ම අනාගතයේ පෝස්ටර් ඇලවීම, රැස්වීම් වැනි ශිෂ්‍ය කටයුතු වලට සහභාගිවීම මුළුමනින්ම අධිකරණය මගින් තහනම් කළ අතර, එවැනි කටයුතු වලට සහභාගි වූ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කොට සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන බව ද අවවාද කරනු ලැබීය.

එම ඇප ඉල්ලීම උදුල් ප්‍රේමරත්නගේ නීතිඥවරුන් විසින් අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා දැනට රිමාන්ඩ් භාරයේ පසුවන උදුල ප්‍රේමරත්න එම ඇප කොන්දේසි මත මුදාහරින ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.

නැවත ලබන මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර උදුල් ප්‍රේමරත්නට නියෝග කර තිබේ.

Leave a comment

කොළඹ වරායේ කන්ටේනරයකින් හෙරොයින් කිලෝ 50 ක් හමුවෙයි


කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයා ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ ආර් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

එම පරීක්ෂණවලින් අනතුරුව සොයාගන්නා ලද හෙරොයින් තොගය කෙතරම් බරකින් යුක්ත ද යන්න සහ එහි වටිනාකම කෙතරම් ද යන්න ප්‍රකාශ කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අදාළ හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 50 ට ආසන්න බව වරාය ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය.

සොයාගනු ලැබූ‍ හෙරොයින් තොගය මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය ද යන්න පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

Leave a comment

ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණිජ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) ආරම්භ වේ. ප්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ


ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණිජ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) ආරම්භ වේ.

ප්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අනිල් කොස්වත්ත මහතා පවසයි.

ප්‍රදර්ශන කුටි 167 ක් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී නවීන පන්නයේ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කරන බවත්, අවම මිලකට ස්වර්ණාභරණ මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ඒ මහතා සියලුම ජනතාව වෙත ආරාධනා කර සිටියි. එමෙන්ම පැමිණෙන සෑම අයෙකුටම සිහිවටනයක් ලෙස අගනා මැණිකක් නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අනිල් කොස්වත්ත මහතා කියා සිටියේය.

Leave a comment