මාධ්‍යවේදීන්ට පහරදීම ගැන කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පොලිස් නිලධාරීන් විසින් පහරදුන් බවට එල්ලවන චෝදනාව සම්බන්ධව අදාළ නිලධාරීන්ට එරෙහිව ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර පදනම (IFJ) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය ඔක්තොම්බර් මස 14 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. එහිදී එම සිසුන් බලහත්කාරයෙන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඇතුළු වූ අතර එම සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කර තිබුණි. එහිදී සිසුන් හා පොලිස් නිලධාරීන් අතර ගැටුමක් හටගත් අතර ඉන් සිසුන් හා පොලිස් නිලධාරීන් පිරිසක් ද තුවාල ලැබීය.

එම අවස්ථාවේදී අදාළ සිදුවීම ආවර්ණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු ද පොලිස් පහරකැමට ලක්විය. එම මාධ්‍යවේදීන් ඔවුන්ගේ මාධ්‍ය හැදුනුම්පත් පෙන්වමින් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට උත්සාහ කළ ද පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ට පහර දී ඇති බව පදනම මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනමාධ්‍යවේදීන් බවට හඳුනාගනිමින්ම අමානුෂික ලෙස අදාළ මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම පදනමේ මහ ලේකම් එයිදන් වයිට් මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ලංකාදීප පුවත්පතේ බිඟුන් මේනක ගමගේ, නෙත් FM නාලිකාවේ සඳරුවන් යටිකින්ද, ඩේලි මිරර් පුවත්පතේ ප්‍රදීප් දිල්රුක්ෂාන්, රිවිර පුවත්පතේ චමිල කරුණාරත්න සහ සිරස ටීවි නාලිකාවේ සුබ්‍රමනියම් ගුණරත්නම් යන මාධ්‍යවේදීන් පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව තිබිණි.
Sri Lanka News-Adadearana-Truth First

. Bookmark the permalink.

Leave a Reply