ශ්‍රී ලංකාවට රන් අහිමිවෙයිද..?


19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 56 බර පන්තිය යට‍තේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් මංජු වන්නිආරච්චි ට තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මේ මොහොතේ යමක් ප්‍රකාශ කළ නොහැකි බව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පවසයි.

මංජු වන්නිආරච්චි සම්බන්ධයෙන් මේ මොහොතේ විවිධ වාර්තා පළ වුවද නිල වශයෙන් පිළිගත හැකි කරුණු සනාථ වී නැතැයිද වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය. එසේ වුවද ඒ පිළිබඳ කෙරෙන විධිමත් විමර්ශනයකින් අනතුරුව හෙට දිනයේ නිල වශයෙන් යමක් ප්‍රකාශයට පත් කරනු හැකිවෙනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

කෙසේ වුවද නිල නොවන වාර්තා උපුටා දක්වන අන්දමට මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක ලබාගත් බවට‍ ඉන්දියාවේ නවදිල්ලි නුවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා බලධාරීන් විසින් මෙරට ක්‍රීඩා බලධාරීන් දැනුවත් කර තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුරදී මංජු වන්නිආරච්චිගෙන් ලබාගත් මුත්‍රා සාම්පල් වල නැන්ඩ්‍රොලෝන් නමැති තහනම් උත්තේජකය අඩංගුවී තිබුණු බවට එරට ක්‍රීඩා බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට එවන ලද වාර්තාවක දැක්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේ වුවද පළමු මුත්‍රා සාම්පල් පරීක්ෂණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන්නේනම් ඒ සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කරන ලෙස අභියාචනා කිරීමේ අවස්ථාව වන්නිආරච්චිට හිමිව ඇතැයිද කියැවේ. මෙම චෝදනා එල්ලවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් මංජු වන්නිආරච්චිගෙන් මේ පිළිබඳ විමසා ඇතත් වන්නිආරච්චි එහිදී සඳහන් කර ඇත්තේ තමන් දැනුවත්ව තහනම් උත්තේජක භාවිතා නොකළ බවයි.

එසේ වුවද තමන්ට ඇදුම රෝගය පවත්නා බැවින් ඇදුම රෝගයට ප්‍රතිකාරයක් ලබාගත් බව හෙතෙම සඳහන් කර තිබේ. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුව විසින් මංජු වන්නිආරච්චිට කරුණු දැක්වීම සඳහා දින 14 ක කාලයක් ලබා දී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ හෝමියෝපති වෛද්‍යවරයෙකුගෙන් ඇදුම රෝගයට ලබාගත් ලබාගත් ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා බලධාරීන්ගේ ඇස යොමුවී තිබෙන බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් වන්නිආරච්චිට එල්ල වන චෝදනා මේ වන තුරුත් සනාථ වී නැති අතර යම් හෙයකින් එකී චෝදනා සනාථ වුවහොත් ‍මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් අප ලැබූ එකම රන් පදක්කම ශ්‍රී ලංකාවට අහිමි වී යනු ඇත. පසුගිය ඔක්තෝම්බර් මස 13 වන දින පස්වරු 3.00 ට වේල්සයේ ෂෝන් මැක් ගෝල්ඩ්රික්ට එරෙහිව තරඟ කරමින් මංජු වන්නිආරච්චි විසින් මෙම රන් පදක්කම දිනා දීමට සමත්විය.

එසේ වුවද වසර 72 ට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකින් බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් ගෙනා ක්‍රීඩකයා ලෙස මංජු වන්නිආරච්චි ගේ නම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයට එක්වීමේ අවදානමක් දැන් මතුව තිබේ.

අප කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරියෙකු කියා සිටියේ අන්තර් ජාතික වශයෙන් ජයග්‍රහණය ලබන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි.විශේෂයෙන්ම ලෝකයේ කුඩා රටක් ලෙස නැඟී සිටින ශ්‍රී ලංකාවට අභූත චෝදනා එල්ල කරමින් මෙරටට අපකිර්තියක් එක්කිරිමට ඇතැම් බලවත් රටවල් උපාය උපක්‍රම සොයමින් සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

. Bookmark the permalink.

Leave a Reply