යොවුන් ඡන්දයට 1934ක් නාමයෝජනා භාර දෙ


යොවුන් පාර්ලිමේන්තුව සඳහා වන යොවුන් මැතිවරණයට නාමයෝජනා භාර දීම සඳහා යෞවන සමාජ සාමාජිකයින්ගේ විශාල උද්යෝගයක් පවතින බව යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අද (08) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මේ වන විට අපේක්ෂකයින් 1934 දෙනෙකු නාමයෝජනා භාර දී අවසන් ව ඇති බවයි.

මන්නාරම, ත්‍රීකුණාමලය, මඩකලපුව, යාපනය, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක නියෝජනය කරමින් විශාල තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා අයැදුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

අයැදුම්පතෙහි සඳහන් පරිදි අවශ්‍ය තොරතුරු සපුරා නොමැති සියලු ම අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ අනුව උප්පැන්න සහතිකයේ පිටපතක් නොමැති ව, පදිංචි ප්‍රදේශයේ අදාල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහතිකයක් නොමැති ව සහ අදාළ යෞවන සමාජයේ සභාපති හෝ ලේකම් සහතික නොකරන ලද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කෙරේ. අපේක්ෂකයා පුජ්‍ය පක්ෂයේ නොවිය යුතුය.

ප්‍රාදේශීය බල මණ්ඩලයකට එක් මන්ත්‍රීවරයෙකු බැගින් මැතිවරණයෙන් තෝරා පත් කර ගැනෙන මන්ත්‍රීවරුන් 332 දෙනාට අමතර ව ආදිවාසීන්, බර්ගර් සහ මැලේ ජාතීන් නියෝජනය වන පරිදි තවත් මන්ත්‍රී ධූර 3ක් පිරිනැමීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

යොවුන් පාර්ලිමේන්තුව දෙසැම්බර් 12 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර කතානායක, නියෝජ්‍ය කතානායක, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ 13 දෙනා තෝරා ගැනීම සියලු ම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එදිනට සිදු කෙරේ.

ආණ්ඩු පක්ෂය සහ ප්‍රතිපක්ෂය අහඹු ලෙස තෝරා ගැනෙන අතර ඒ සඳහා අංක 1 සහ 2 යෙදූ කඩදාසි භාවිත කරනු ලැබේ. තෝරා ගනු ලබන ආණ්ඩු පක්ෂයට කැබිනට් මණ්ඩලයේ 13 දෙනා ඇතුළු ව සාමාජිකයින් 173ක් අයත් වන අතර ප්‍රතිපක්ෂයට හිමිවන සාමාජික සංඛ්‍යාව 160කි.

ආණ්ඩු පක්ෂයේ ලාංඡනය ලෙස ජාතික වෘක්ෂය නා ගස සහ ප්‍රතිපක්ෂයේ ලාංඡනය ලෙස ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මල තෝරා ගෙන ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 11 වැනිදා ආරම්භ කෙරෙන අතර 25 වැනිදා දහවල් 12.00ට අවසන් කෙරේ. අපේක්ෂකයින් පොදු ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු වේ.

තරුණ මැතිවරණය නොවැම්බර් 27 දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 332ක දී පැවැත්වෙන අතර එම මධ්‍යස්ථානවලදී ම ඡන්ද ගණන් කිරීම සිදු කෙරේ.

එදින සවස 6.00 වන විට ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජයේ ප්‍රජාතාන්ත්‍රික රාමුවට තරුණ ජනමතය එක් කර ගැනීමේ ප්‍රධාන අරමුණින් මෙම පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීමට අදහස් කර ඇත.

රට තුළ වාර්ගික සංහිඳියාව නිර්වචනය කිරීම, නූතන අභ්‍යාස අත්හදා බැලීම්, තරුණ පරපුරට අනාගත නායකත්වය ලබා දීම සහ 2020 වසර වන විට රටට අවශ්‍ය නායකයින් බිහි කිරීම ද මෙම පාර්ලිමේන්තුවේ අරමුණු වේ.

. Bookmark the permalink.

Leave a Reply