ඉහළ කොත්මලේ


තලවාකැලේ නගරයේ රාත්‍රී නිහඬ බව බිඳී යන්නේ කොත්මලා ඔයේ සීතල දිය රළ ගලා බසිමින් නංවන ගීත නාදයෙන්.


මහා වැසි සමයන්හි ඉවුරු බිඳිමින් සැඩ වෙමින් පහළ කොත්මලා නිම්නයට ගලා ගිය කොත්මලා ඔයේ දියවර තවත් පෝෂණය වුණේ තලවකැළේ දී එයට නානු ඔයත් එකතු වීමෙන්. මේ මහවැලි ගං කොමලියේ ආරම්භක දිය මංපෙත් බව අදත් බොහෝ දෙනෙකු දන්නේ නෑ.

‘මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා...’

අප අතීතයේ සිට අසා දැනගෙන තිබුණේ එහෙම වුණත් මහවැලිය ආරම්භ වන්නේ සමනොළ කන්දෙන් නො වන බව මේ වන විට තහවුරු කර ගෙන තිබෙනවා.

හෝර්ටන් නිම්නයේ සිට ගලා බසින කොත්මලා ඔය එහි ආරම්භක දියවර යි. මහවැලි නදිය ත්‍රීකුණාමලයේ උප්පාරු දක්වා ගොස් මුහුද සිප වැළඳගන්නා දිගු ගමන් ම‍ඟේ දී එය පෝෂණය කරන දිය කඳුරු, ඇලදොළ, ගංගාවන් හා දිය ඇලි එමට යි.

මේ මහා නදිය එසේ ගලා යන්නේ සමස්ත රටට ම විදුලිය උත්පාදනය කරමින්. වගා බිම් සරුසාර කෙත් වතුබවට පත් කරමින්. රටට ම මහා සම්පතක් වූ එවන් මහවැලි නදියේ ඉහළ ම ප්‍රදේශයේ ඉදිවන එහි අවසාන ජලවිදුලි බලාගාරය වන ‘ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාරය’, අනේකවිධ බාධාවන් මැද යථාර්ථයක් බවට පත්වෙමින් තිබී ම ජාතියේ ම වාසනාවක්.

2007 වසර මැද භාගය වන විට මෙ රටේ ජනගහනයෙන් 22%කට විදුලිබලය අහිමි ව තිබුණා. සමස්ත විදුලිබල සැපයුම තිබුණේ 78%කට පමණයි. නමුත් මේ වන විට රජය ක්‍රියාත්මක කළ විකල්ප විදුලි සැපයුම් යෝජනා ක්‍රම නිසා විදුලි පරිභෝජනය කරන සංඛ්‍යාව 85% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එදා මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන ආරම්භ කරද්දී අපට ඉන්දියාවටත් විදුලිය දිය හැකි බව දේශපාලඥයන් ප්‍රකාශ කළා. නමුත් රටේ ඉහළ යන බලශක්ති ඉල්ලුම හමුවේ අද නිපදවෙන ජල විදුලිබලය අප රටටවත් ප්‍රමාණ වත් වන්නේ නැහැ.

2007 වන විටත් බලශක්තිය 60%ක් නිපදවූයේ ඩීසල් බලාගාරවලින්. මෙරටට ආනයනය කරන ඉන්ධනවලින් 40%ක් ම වැය වන්නේ බලශක්තිය නිපදවීමට. ඒ සඳහා රජය සහන මිලකට ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයනවා.

ගණනය කර ඇති පරිදි මෙ රටේ වාර්ෂික ව ඉහළ යන 8%ත් 10%ත් පමණ වන විදුලිබල ඉල්ලුම හමුවේ නිහඬ ව බලා සිටින්නට කිසිදු රජයකට හැකිවන්නේ නෑ. එසේ ම විදුලිබල සැපයුම අඩාල වීමෙන් ඒ හා සමාන ව ම රටේ ආර්ථික සංවර්ධනයේ වේගය අඩාලවීමත් කිසිවකුට නතර කළ හැකි වන්නේත් නැහැ.

මේ සියලු අර්බුද හමුවේ එයට පිළියම් යෙදීමටයි මහින්ද රාජපක්ෂ රජය විදුලිය නිපදවීමේ ව්‍යාපෘති කිහිපයක් ම රටේ තැනින් තැන ආරම්භ කළේ.

නොරොච්චෝලේ, කෙරවලපිටිය, සහ මීට වසර 17කට පමණ පෙර සිට ම මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඉදිකිරීම් ආරම්භ කිරීමට බොහෝ බාධක ඇති වූ ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය ඒ අතරින් මුල්තැනට වැටෙනවා.

සාම්පූර් ගල් අඟුරු බලාගාරයටත් මේ වන විට ඉඩම් වෙන්කර අවසන්. එය ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකිරීමයි රජයේ අපේක්ෂාව.

ඉහළ කොත්මලේ බලාගාරය සඳහා ජලාශය ඉදිකිරීමට, ශක්‍යතා අධ්‍යයනයෙන් යෝජනා කර තිබුණේ සංචාරක ආකර්ශනය නො අඩු ව පවතින අතිශය මනරම් කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නෙත් සිත් පිනවන දිය ඇලි රැසක් සහිත සුන්දර භූමි භාගයක්.

මේ ව්‍යාපෘතියට එක් පසෙකින් රම්බොඩ හරහා දිවෙන මහා මාර්ගයත්, හැටන් - නුවරඑළිය මහා මාර්ගයත්, තවලන්තැන්න - තලවාකැළේ මහා මාර්ගයත් මායිම් වන විශාල භූමි ප්‍රදේශයක් ආවරණය වෙනවා. මේ මනස්කාන්ත පරිසරය නිසා ම එදා මේ ජල විදුලි ව්‍යාපෘතියට විශාල ආකර්ෂණයක් මෙන් ම විවිධ බාධාවන්ට මුහුණ පෑමට සිදු වුණා.


ජල විදුලිබලය නිපදවීමට නම් ස්වභාවික ජල ප්‍රභවයන් අත්‍යවශ්‍ය ම සාධකයක්. ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය මුලින් සැලසුම් කළ ආකාරයට එයට සුන්දර ජල ප්‍රභවයන් හයක් ඇතුළත් වුණා. ඒවා නම්,

- ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල
- ඩෙවෝන් දිය ඇල්ල
- රම්බොඩ දිය ඇල්ල
- කොත්මලා ඔය
- පූනා ඔය දිය ඇල්ල
- ශාන්ත ඇන්ඩෘස් දිය ඇල්ලයි.

මේ ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ මුල් ම ශක්‍යතා අධ්‍යයනය සිදු කළේ 1985-86 තරම් ඈත කාලයක දී යි. 1995 වන විට දස වසරක් ගෙවී ගිය තැන පරිසරය පිළිබඳ සියලූ අධ්‍යයනයන් අවසාන ව තිබුණා. 1995දී ව්‍යාපෘතියට අනුමැතිය ලැබුණත් පරිසරය පිළිබඳ ගැටළු මතු වී තිබුණා. විවිධ පරිසර හා සමාජ සංවිධාන මේ කටයුත්තට එරෙහි ව නැඟී සිටියා. මේ ව්‍යාපෘතිය උසාවිය දක්වා රැගෙන යාමට ඔවුන් කටයුතු කළා.

නමුත් 1995-2000 අතර කාලය තුළ උසාවියට ද කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව 2000 වසරේ දී මේ ව්‍යාපෘතියට සම්පූර්ණ අනුමැතිය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට හැකි වුණා.

සියල්ල යහපත් තත්ත්වයට හැරුණත් 2000 වන විට රජයට මේ කාර්යයට ප්‍රතිපාදන තිබුණේ නෑ. 2002 දක්වා ම රජයට සිදු වුණා ප්‍රතිපාදන ලබා ගැනීමේ කටයුතු සැලසුම් කිරීමට. වසර ගණන් කල් ඉකුත් ව යන විට වෙළෙඳපොළ මිල මට්ටම් ඉහළ යාම නිසා ව්‍යාපෘතියේ බරපැන ද ඉතා ඉහළ මට්ටමකට නැඟ තිබුණා. මේ වන විට මේ ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 37,269ක් වෙනවා. සහනදායී පදනම මත සියයට දශම නවයයි පහක (0.95%) වාර්ෂික පොලියට ජයිකා ආයතනයෙන් ලැබෙන රුපියල් මිලියන 28,721කින් සහ විදුලිබල මණ්ඩලය සපයන රුපියල් මිලියන 8,548කින් අරමුදල් සම්පාදනය ‍වෙනවා.

මේ සමස්ත ව්‍යාපෘතියට වැය වන මුදලින් මිලියන 90ක් පමණ වැය වන්නේ ඉඩම් මිලයට ගැනීමටත්, බදු මුදල් සහ ආනයන තීරු බදු වැනි කටයුතු වෙනුවෙන්. එම මුදල් වැය වන්නේ මෙ රට තුළ ම යි.

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියට ජල ප්‍රභවයන් හයකින් ජලය සපයා ගැනීමට මුලින් අපේක්ෂා කළත් 2005 අප්‍රේල් 07 වැනි දා අමාත්‍ය මණ්ඩලය මේ පිළිබඳව වැදගත් තීරණයක් අරගත්තා. ඒ අනුව ඉහතින් සඳහන් කළ ජල ප්‍රභවයන් හය වෙනුවට කොත්මලා ඔය හරහා පමණක් වේල්ල බැඳ ඉන් ජල විදුලිබලය නිපදවීමට තීරණය කෙරුණා.

මේ තීරණය නිසා ඉලක්කය වී තිබූ වාර්ෂික ව ගෙගාවොට් 528ක් වූ විදුලිබල නිපැයුම ගෙගාවොට් 409 දක්වාත් ව්‍යාපෘතියේ පිරිවැය සියයට දොළහකිනුත් (12%) අඩු වෙනවා.
‍‍මහවැලි නදිය ත්‍රීකුණාමලය දක්වා ගලා බසින්නේ කඳුවැටි, පතන් බිම්, නිම්න ඔස්සේ සෙල්කුළු මැදින් මහා බාධක රැසක් ජයගනිමින්. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිකිරීමට එරෙහි ව පැමිණි බාධක ඊටත් වැඩිවන්නට පුළුවන්.

එවන් සියලූ බාධා ජය ගෙන ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබීම රටේ ම වාසනාවක්.

ඒ අනුව සුන්දර කොත්මලා ඔය හරහා ඉදිවෙන වේල්ලේ වැඩ පටන් ගත්තේ 2007 දී. ජලාශය ඉදිකිරීම ඇරඹු අවසාන සැලැස්ම අනුව ජලය රැස් කරන ජලාශය කොත්මලේ, කාසල්රී, මාඋස්සාකැලේ හෝ රන්දෙණිගල මෙන් අති විශාල ජලාශයක් වන්නේ නැහැ.
මේ ජලාශයේ වර්ගඵලය වර්ග කිලෝමීටර් කාලක් (0..253sq.km) පමණ ඉතා ම කුඩා පරිමාවකින් සමන්විතයි. කොත්මලා ඔය හරස්කර ඉදිකරන වේල්ලේ උස මීටර් 35.5ක්. පළල මීටර් 7ක්. සම්පූර්ණ දිග මීටර් 157ක්. මේ වේල්ල වාන් දොරටු 5කින් සමන්විතයි.

සම්පූර්ණ ජලාශය හෙක්ටයාර් 0.25ක් නැත්නම් අක්කර 60ක පමණ ප්‍රමාණයක පැතිර යනවා. ජලධාරක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 3.4ක් (3.43km) පමණ වෙනවා. මෙහි රඳවා ගත හැකි ජල ප්‍රමාණයත් ඝන මීටර් මිලියන 2.1ක් පමණයි. විදුලිය නිපදවීම සඳහා තලවාකැළේ ජලාශයේ සිට නියම්ගම්දොර දක්වා උපරිම ජලය පිටකිරීම තත්පරයට වර්ගමීටර් 36.9ක්.
ඉහළ කොත්මලේ ජලාශය අනෙක් ජලාශ සමඟ සසඳා බැලීමෙන් එහි කුඩා බව තවත් පැහැදිලි කරගත හැකියි. මේ ජලාශයට වඩා පහළ කොත්මලේ ජලාශය 85 ගුණයකින් විශාලයි. රන්දෙනිගල 450 ගුණයකින් විශාලයි. ජලාශය කුඩා වීමේ වාසිය ලැබී තිබෙන්නේ සුන්දර කඳුකරයටයි. පරිසරයට අව ම හානි සිදු වන ලෙසිනුයි දැන් මේ ව්යා පෘතිය සැලසුම් කර තිබෙන්නේ.

ඒ අනුව ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල, ඩෙවෝන් දිය ඇල්ල, රම්බොඩ දිය ඇල්ල, පූනා ඔය දිය ඇල්ල සහ ශාන්ත ඇන්ඩෘස් දිය ඇල්ල මතු පරම්පරාවලටත්, සංචාරකයින්ටත් දැක බලාගත හැකි වන සේ ආරක්ෂා වෙනවා.

මේ ව්‍යාපෘතියට එරෙහි ව ජනතාවගේ උද්ඝෝෂණ පැන නැඟුණේ මේ ව්‍යාපෘතිය පිළිබඳ කරුණු සම්පූර්ණයෙන් විකෘති ලෙසින් ඔවුන් වෙත ගෙන යාමෙන්. ඇතැම් පරිසර සංවිධාන මිනිසුන් උසිගැන්වීමේ කටයුතුවල නියුතු වුණත් 2007 වන විට අවතැන් වන ජනතාව‍ට වැඩමුළු පවත්වමින් මාසික හමුවීම් පවත්වමින් ඔවුන් නිවැරදි ව දැනුවත් කිරීමට තලවාකැළේ ව්‍යාපෘති කාර්යාලය මඟින් පියවර ගෙන තිබුණා.

කොත්මලේ හෝ වික්ටෝරියා ජලාශ ඉදිකළ ආකාරයට මෙන් මෙන් මේ ව්‍යාපෘතියෙන් විශාල ජනාවාස අහිමි වන්නේ නෑ. ඒ වගේ ම සශ්‍රීක බිම්, කෙත්වතු විනාශ වන්නේත් නැහැ. මේ ව්‍යාපෘතියේ ඇති සුවිශේෂත්වය වන්නේ ද එයයි
තලවාකැළේ දී කොත්මලා ඔය හරහා ඉදිවන වේල්ලෙන් එකතු වන ජලය ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තිය මැදින් භූගත උමඟක් තුළින් කිලෝමීටර් 12.9ක් දක්වා දුරට ගෙන යනවා. උම‍ඟේ විෂ්කම්භය මීටර් 5.8ක්. කන්ද මුදුනේ සිට මීටර් 600ක් පමණ පහළිනුයි උමඟ ඉදිවන්නේ.

මේ ගැනත් පරිසරවේදීන් විවිධ මතවාද පතුරවන්නට වුණා. “උමඟ නිසා නාය යාම් ඇති වෙන්න පුළුවන්. මේ පළාතේ දෙදරීම් ඇති වන්නට පුළුවන්. ජලය කාන්දු වීමෙන් තේ වතු විනාශ වෙන්නට පුළුවන්...” වැනි මතවාද ඒ අතරින් කැපී පෙනෙන මාතෘකා වුණා. නමුත් මේ උමඟ තනිකර ම කළුගල් කුලක් මැදින් ගමන් කරන නිසා එසේ වන්නේ නෑ. මේ ප්‍රදේශයෙන් නානුඔය ඔස්සේ බදුල්ල දක්වා ගමන් කරන දුම්රිය මාර්ගයේත් මෙවැනි උමං අතීතයේ සිට ම පැවතෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු යාය මැදින් ගමන් කරන උමඟ පූඩළු ඔය පරනා දේශයෙන් අවසන් වන්නේ භූගත ව ඉදිකෙරෙන ජල විදුලි බලාගාරයට මීටර් 500ක් පමණ ඉහළින්. කන්ද මැද විදුලි බලාගාරය ඉදිවෙන්නේ නියම්ගම්දොර ප්‍රදේශයෙන්. මේ ප්‍රදේශයේ දී කොත්මලා ඔයට පූඬළු ඔයත් එකතු වෙනවා. නියම් ගම් දොර ප්‍රදේශයෙන් කන්දේ උමඟ කැනීම දැන් ආරම්භ වුණේ 2007 දී.
මේ උමඟ කන්ද මැදට හාරා ගෙන ගොස් එහි ඉදිකරන විදුලි බලාගාරය සඳහා මීටර් 65 උස 45ක් පළල විශාල කොටසක් කන්ද මැදින් හාරා ඉවත් කරනවා. මෙය තනිකර ම කළුගලින් සමන්විත කන්දක්. කන්ද මැද ඉදිවන විදුලි බලාගාරය තට්ටු 7කින් සමන්විත වෙනවා. විදුලි බලාගාරය දක්වා යන උමඟ වටා සෙන්ටිමීටර් 40ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් ආවරණයක් දමනවා. කන්ද මැද ස්වභාවික ව පිහිටි පොළොවේ ඉදිවන නිසා දරා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි ඉංජිනේරුවන්ගේ මතය.

විදුලි බලාගාරයේ සිට මීටර් 461ක් ඉහළිනුයි තලවාකැලේ සිට එන ජල උමඟ පිහිටන්නේ. එම ජල කඳ පහළට කඩා වැටෙන්නේත් කළු ගල විදීමෙන් සකස් කරන නල මාර්ගයකින්. එය ජලය උම‍ඟේ සිට පහළට පැමිණ දෙකට බෙදී ජල විදුලි උත්පාදන යන්තරළුග දෙකකට ඉතා දැඩි වේගයකින් පතිත වෙනවා. ඒ වේගය නිසා විදුලි උත්පාදන යන්ත්‍ර (ටර්බයින්) ක්‍රියාත්මක වෙනවා.
විදුලිබලය උත්පාදනය කරන ජල කඳ කන්දෙන් පිටතට ගැනීමට තවත් උමඟක් සකස් වෙනවා. විදුලි බලාගාරයේ සිට පිටාර ජලය එම උමඟ දිගේ පහළට ගමන් කර කොත්මලා ඔයට නැවත එක්වෙනවා. උත්පාදනය කරනු ලබන විදුලිය පිටතට ගෙන යන විදුලි රැහැන් සඳහා තවත් උමඟක් ප්‍රධාන උමඟට වම් පසින් සකස් කෙරෙනවා. ඒ අනුව කන්ද මැද විදුලි බලාගාරයේ සිට පිටතට උමං මාර්ග තුනක් නියම්ගම්දොර ප්‍රදේශයට ගමන් කරනවා. මෙය විශ්වකර්ම නිර්මාණයක් සේ අපට හැ‍ඟෙන්නේ ස්වභාවික කන්දක් මැද මෙරට ඉදිවන ප්‍රථම විදුලි බලාගාරය මෙය වන නිසයි.

රටක් සංවර්ධනය කිරීමේ දී රජයකට මුහුණදෙන්නට සිදුවන අපමණ බාධා කොපමණ ද යන්න මැනවින් කියා දුන් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය දැන් යථාර්ථයක් බවට පත් වෙමින් තිබීම රට ම දුටු සිහිනයක් සැබෑ වීමක්.

ඒ සිහිනය මල්ඵල ගන්වන්නට රටේ නායකයා ලෙසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතියට මූලික පරිසරය සකස්කර දුන් ආකාරය මෙ රටේ දේශපාලනයේ නියැලෙන සැමට ම ආදර්ශයක්. ජනතාවට සේවය කිරීමේ දී අනන්ත අප්‍රමාණ ඇනුම්බැනුම්, නින්දා අවමාන, රැවුම්ගෙරවුම් බාධක ජයගත යුතු වෙනවා. එසේ ම ජනතාවගේ සිහින සැබෑ කිරීමේ දී ඒ වෙනුවෙන් ලැබෙන කීර්ති ප්‍රසංසා, ‍ගරුබුහුමන් මෙන් ම පොදුජන හදවතේ තබන නොමැකෙන සලකුණු දේශපාලනයේ දී කාටත් උරුම වීම ද ස්වභාවයක්.

එවන් බාධක කම්කටොළු ජයගනිමින් 30 වසරක යුද්ධයක් නිමාවට පත් කළ, ජනතාවගේ විස්වාසය දිනෙන්දින දිනාගත් අපේ කාලයේ ලෝකයේ ප්‍රබල ම රාජ්‍ය නායකයකු ලෙස ලොව ම පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යශූරත්වයේ කැපවීමේ තවත් සාධකයක් ලෙස ඉහළ කොත්මලේ විදුලි බලාගාරය ඉදිකිරීම ඉතිහාසගත වෙනවා.

තවත් වසරකින් ජලාශය දියවරින් ගැබ්බර ව ගිය කල්හි තලවාකැළේ නගරයේ රාත්‍රී නිහැඬියා ව බිඳිමින් සියවස් ගණනක් මුළුල්ලේ සීතල වාතලය හා මුසු වූ කොත්මලා ඔය ගලා ගිය ඒ සොඳුරු නාදය සදහට ම නැවතේවි. නමුත් තලවාකැළේ බිහිවන නව නගරයට පහළින් ඉදි වූ සිත් පිනවන මනරම් ජලාශයේ සිසිල රැගෙන, සිහින් සරින් මඳනල ගයන විදුලි ගීතය මේ රටේ අනාගත උරුමක්කාරයනට බොහෝ දේ පවසන්නේ ය.

මහවැලි ගංදියෙන් තවත් නිවාස දහස් ගණනක අඳුර දුරු වී ආලෝකමත් වෙද්දී මේ සා විශාල මෙහෙවරක් ඉටුකරන්නට ඇපකැප වූ උත්තම මිනිසුන්ගේ හැඩරුව පොදුජන හදවතේ නොමැකෙන ලෙස සනිටුහන් වන්නේ ය.

. Bookmark the permalink.

Leave a Reply