ඉඩම් අයිති ආණ්ඩුවටයි-ජන සංයුතිය අදාළ නෑ

උතුරේ ඉඩම් කිසිදු ජන කොටසකට අයත් නොවන බවත්,වත්මන් රජය ජන සංයුතියට අනුව ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

රටේ සෑම බිම් අඟලක්ම කිසිදු ජාතියකට ආගමකට හෝ කුලයකට පමණක් අයත් නොවන බවත්,ඒවා මේ රටේ එක්කෝටි අනූ පන් ලක්ෂයක් වන සියලුම ජනතාවට අයත් බවත් හෙතෙම කියා සිටියේ අද(04)ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එබැවින් ඉඩම් පිළිබඳ අවසන් තීරණය ගැනීමට යුතුකමක් හෝ වගකීමක් හෝ අයිතියක් පවතින්නේ මහජන ඡන්දයෙන් තේරීපත්වන රජයකට බව ද ඒ අනුව ඉඩම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වෙනස් නොවන බවද ඔහු කියා සිටියේය.

උගත් පාඩ්ම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කොළඹ අගරදගුරු ගරු කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් උතුරු නැඟෙනහිර ජන සංයුතිය වෙනස්කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කර තිබීමත්,ඒ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උන්වහන්සේ උතුරට නොගොස් ඇත්නම් කැටුව යන්නට රජය සූදානම් බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

කොළඹ අගරදගුරු ගරු කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් ගේ අදහස් වලට තමන් ගරු කරන බවත්,ඕනෑම අයෙකුට මෙම ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දිය හැකි වුණත් කළ යුත්තේ කුමක්ද යන්න කොමිසම විසින් අවසානයේ තීරණය කරනු ඇති බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

. Bookmark the permalink.

Leave a Reply