ශ්‍රී ලංකාවේ පලතුරු නිෂ්පාදනය හා වෙළෙඳපොළ පිළිබද වර්තමාන තත්ත්වය හා එහි අනාගතය සම්බන්ධයෙන් අප රට පසුගිය වසර දෙක තුන තුළ සුවිශේෂ අවධානයක් යොමු කර තිබීම කාගේත් සතුටට කාරණයකි. ඊට හේතුව වන්නේ මෙරට ජනතාවගේ පෝෂණයට පළතුරු කෑමෙන් කළ හැකි බලපෑම ඉතා අඩු මට්ටමක පවතින නිසා ය. කෘෂිකර්ම අමාත්‍යංශය ´´ අපි වවමු රට නඟමු ``ජාතික සැලැස්ම තූළ පළතුරු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත බවක් අත් කරදීම පිණිස විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි.

ලෝක සෞබ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව සෑම පුද්ගලයෙකුම එක් දිනක් තූළ පලතුරු ග්‍රෑම් 112ක් පරිභෝජනය කළ යුතු වෙයි. දැනට පලතුරු පරිභෝජනය සඳහා යම් නැඹුරුවක් ජනතාව තුළ ඇති වී තිබුණත් එය නාගරික ප්‍රදේශවලට පමණක් වීමත් ග්‍රාමීය ප්‍රදේශවලදී එහි ඇත්තේ ජනතාව ඉතා දුරස් වීමක් බවත් වාර්තා වෙයි. ී ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම හෝ ආදායම් අඩුවීම නිසා සිදු වූවක් බව පෙනෙයි. බොහෝ ග්‍රාමීය පලතුරු ගමෙන් නගරයට ඇදී එන ආකාරය අපි මනා කොට දන්නා දෙයකි. එයින් ගමේ පෝෂණය ගමෙන් විතැන් වීමක් සිදුවන බව අපේ ගම්මු නොදනිති.

පලතුරුවලින් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විටමින් හා බනිජ ලවණ වැඩි ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ලබා ගැනීමටත් ආහාර ජීර්ණය පහසු කරවීමටත් දායක වෙයි. එහෙත් දැනට අපට ලැබෙන්නේ දිනකට පලතුරු ග්‍රෑම් 40ක් තරම් කුඩා ප්‍රමාණයක් පමණකි.
අප රට, ලෝකයේ ඝර්ම කලාපීය රටක් වන අතර මෙහි පලතුරු වර්ග 55ක් තරම් විශාල ප්‍රමාණයක් ඉතා පහසුවෙන් වගා කිරීමට පුළුවන්කම ඇත. අපේ පලතුරු බොහොමයක්ම ගෙවතු වගා ලෙස පවතින අතර ඉතා සුළු ප්‍රමාණයක් ගොවිපොළ හැටියටත් ඇති බව හඳුනාගෙන ඇත. එයින් සියයට 85ක් 90ක් තරම් ගොවිපල ප්‍රමාණයක් හෙක්ටයාර් 0.25ට වඩා අඩු ඒවා ය. තවත් සියයට 5ත් 10ත් අතර ප්‍රමාණයක් හෙක්ටයාර් 2ට වඩා අඩු ගොවිපොළ ය. හෙක්ටයාර් 2ත් 10ත් අතර ගොවිපොළ ප්‍රමාණය සියයට 3ක් තරම් ය. හෙක්ටයාර් 2ට වඩා වැඩි ගොවිපොළ ප්‍රමාණය සියයට දෙකකි.

මෙවැනි තත්ත්වයක් තුළ අප රටේ පලතුරු නිෂ්පාදනය, අපට අවශ්‍ය තරම් නොවන බව පෙනෙයි. එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් හැටියට ගතහොත් සියයට එකකි (1%කි).

ඉහත කී පලතුරු වර්ග 55න් වර්ග 12ක් සඳහා අප රට තුළ පර්යේෂණ පවත්වමින් ඒවා සංවර්ධනය කිරීමට ප්‍රමුබත්වය ලබා දී තිබීම මෑත කාලය තුළ අප ලත් ජයග්‍රහණයකි. විශේෂයෙන් කෙසෙල්, අන්නාසි, පැපොල්, වැල් දොඩම්, අඹ, පැණි දොඩම්, මැන්ඩරින්, අලිගැටපේර, කොමඩු, දිවුල්, පේර, දෙළුම් හා පෙයාර්ස් ඒ අතර වෙයි. වත්මන් රජයේ කෘෂිකාර්මික සංවර්ධන පිළිවෙත්වලට අනුව මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ එළවළු පලතුරු යන අංශ දෙක කෙරෙහි ම වැඩි අවධානයක් යොමු කර තිබේ.
ජනලේබන හා සංබ්‍යාලේබන දෙපාර්තමේන්තුවේ සංබ්‍යාලේබනවලට අනුව 2008 වසරේ පලතුරු වගාව සඳහා හෙක්ටයාර් 100148ක් යොදවා තිබුණි. එයින් සියයට 48ක් කෙසෙල් වගාව සදහා පමණක් වෙන් විය. ශ්‍රී ලංකාවේ වැවෙන පලතුරු ප්‍රභේද 55න් වාණිජ මට්ටමේ වගාවන් සිදු කෙරෙන අතර පැපොල්, අන්නාසි, කෙසෙල්, රඹුටන් විධිමත් වගා ලෙසත්, අලිගැටපේර, අඹ, දිවුල් හා බෙලි ඉතා අඩු ප්‍රමාණයෙන් විධිමත් ලෙෂත් වගා කරයි.

ඉහත කී ප්‍රධාන පලතුරුවලට අමතර ව තවත් පලතුරු වර්ග රැසක් අප රට ජනතාව අතර භාවිතයට ගනිති. අනෝදා වර්ග කිහිපයක්, දොඩම් වර්ග රැසක් (පැණිදොඩම් ජමනාරං ජම්බෝල ඇතුළු වර්ග කිහිපයක්), වැල, වරකා, ජම්බු, ලාවුලු, ලොවි, නෙල්ලි, උගුරැස්ස, වෙරළු, දිවුල්, මැංගුස්ටින් ඒ අතර වෙයි. මේ බොහොමයක ඖෂධීය ගුණය ද ඉහළ මට්ටමක පවතී. එහෙත් මේවා අපේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කිරීමේ මට්ටම ඉතා පහළ ය.

අප රට වැවෙන බොහොමයක් පලතුරු වර්ග විදේශ වෙළෙද පොළට අපනයනය කරයි. පසුගිය වසරවල එකී අපනයන මට්ටම ද ඉහළ මට්ටමකට නැඟ තිබේ. 2008 දී නැවුම් පලතුරු මෙ.ටො.14415ක් අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 1508ක විදේශ විනිමයක් උපයාගෙන ඇත. ශ්‍රී ලංකාව මාලදිවයිනේ පලතුරු වෙළෙඳ පොළ විශාල වශයෙන් දිනාගෙන සිටියි. මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ ඉන්දියාව හා සෙසු කලාපීය රටවල් පලතුරු වෙළෙඳ පොල ජයගැනීමට අපේක්ෂා කරයි. මේ සදහා පලතුරු අපනයන බදු ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියක් ද රජය අනුගමනය කර තිබේ.

කාබනික පලතුරුවලට ලෝක වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම සලකා බලමින් කාබනික පලතුරු නිෂ්පාදනයට වැඩි නැඹුරුවක් රටතුළ ඇති කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද අවධානය යොමු කර තිබේ. එයින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයීමට රජය බලාපොරොත්තු වෙයි. එය අප රටට විදේශ විනිමය උපයාගැනීම අරමුණු කරගත් ඉතා හොඳ පිළිවෙතකි. එහෙත් ලෝක සෞබ්‍ය සංවිධානයේ ඉලක්ක සමග සසඳන විට අපට ප්‍රමාණවත් පලතුරු නැතිව තිබියදී විදේශ වෙළෙඳපොළට අපනයනය අපගේ පෝෂණය අප විසින් ම තල්ලු කර දැමීමක් ද වන්නේ ය.
මේ අතර අප රටට විශාල වශයෙන් ආනයනය කරන පලතුරු වර්ග රැසක් ද ඇත. ඇපල්, දොඩම්, මැන්ඩරින් හා මිදි ඒ අතර ප්‍රමුබ වෙයි. මේවායින් ඇපල් අප රට දේශගුණික තත්ත්වයන් යටතේ වගා කිරීම දුෂ්කර ය. චීනය හා ඇමෙරිකාව යන දෙරටින් ඇපල් ද චිනය, ඔස්ට්‍රෙලියාව හා පාකිස්ථානය යන රටවලින් දොඩම් ද, ඉන්දියාව, ඔස්ට්‍රෙලියාව, දකුණු අප්‍රිකාව හා ඇමෙරිකාව යන රටවලින් මිදි ද ආනයනය කරයි. 1980 දී ශ්‍රී ලංකාවට ආනයනය කළ ඇපල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 137ක් වූ අතර, 1990 දී මෙට්‍රික් ටොන් 684ක් විය. එම මට්ටම 2000දී මෙට්‍රික් ටොන් 13514ක් දක්වා ඉහළ ගියේ ය. 2008 දී මෙට්‍රික් ටොන් 17222ක් තරම් ඉහළ අගයක් ගත්තේ ය.

දොඩම් ආනයනයේ දී පෙන්නුම් කරන්නේ වෙනස් තත්ත්වයකි. 2000 සිට පිළිවෙළින් මෙට්‍රික් ටොන් 10586 සිට 2001 දී මෙට්‍රික් ටොන් 9469 ක්, 2002 දී10812ක්, 2003 දී 8563ක්, 2004දී 7218ක්, 2005දී 3606ක්, 2006දී 4881ක්, 2007 3346ක් හා 2008දි 3579ක් වශයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තා විය. මෙම පලතුරු වර්ග ආනයනය වෙනුවෙන් සැලකිය යුතු විදේශ විනිමයක් අප රටින් පිටරටවලට ඇදී යන අතර එය වළක්වාගෙන මෙරට දේශීය කෘෂිකර්මයේ ප්‍රමුබ වගා ලෙස සංවර්ධනය කිරීමට ඉඩ කඩ ඇත. දොඩම් හා මිදි ශ්‍රී ලංකාවේ වගා කිරීමට අවශ්‍ය තරම් පහසුකම් ද තිබේ. එකී ස්වයංපෝෂිත බව ළඟා කරගැනීමට අප ගම් මට්ටමින් සූදානම් කිරීම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ පලතුරු සැකසුම් කර්මාන්තය මෑත කාලයේ දී නව මාවතකට යොමුවෙමින් ඇත. බීම වර්ග සඳහා පලතුරු යෙදවීම දැන් බහුලව සිදු කරමින් තිබේ. එය අප රට ජනතාවගේ පලතුරු පරිභෝජනයේ නව වැඩිවීමක් සඳහා කරන යොමු කිරීමක් වී තිබේ. ඒ සඳහා විශේෂයෙන් මධ්‍යම පංතිකයින් හා තරුණ තරුණියන් මෙන්ම යෞවන වයසේ නාගරික පිරිස් නැඹුරු වෙමින් සිටිති. එය හොඳ තත්ත්වයකි. එහෙත් ගැමි බහුතරයක් ඊට යොමු වී නැත. දැනට පලතුරු පරිභෝජනයේ යෙදෙන ජනයාගෙන් බහුතරය නාගරික පිරිස් වන අතර ප්‍රාදේශීය මට්ටමින් එය ව්‍යාප්ත වන්නේ මුස්ලිම් ජනයා අතර ය. එහිදී පලතුරුවල මිල ගණන් අප රට සෙසු ජන කණ්ඩායම්වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් පෙන්නුම් කරයි. අතිශය ගුණදායක පලතුරු වර්ග අතර අනෝදා හා දූරියන් ගෙවතු මට්ටමින් උඩරට ප්‍රදේශවල ව්‍යාප්ත වන නමුත් පසුගිය අවුරුදු කිහිපයක් තුළ එක දූරියන් ගෙඩියක්වත් පරිභෝජනය නොකළ සිංහල හා දෙමළ ජන කණ්ඩායම අති විශාල ය. සමස්ත දූරියන් නිෂ්පාදනයෙන් අඩු තරමින් සියයට 70ක් වත් පරිභෝජනය කරන්නේ මුස්ලිම් ජන පිරිස යි. ඊට ප්‍රධාන ම හේතුව වන්නේ මිල මට්ටම දරාගැනීමට නොහැකි වීමයි.

2010 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ සමහර පලතුරු වර්ග කිහිපයක මිල ගණන් මෙසේ ය. ඇඹුල් කෙසෙල් ගෙඩියක් රුපියල් 2ත් 3ත් අතර කෝලිකුට්ටු ගෙඩියක් රුපියල් 6ත් 10ත් අතර පැපොල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 30ත් 65ත් අතර අන්නාසි ගෙඩියක් රුපියල් 60ත් 90ත් අතර අඹ (කර්ත කොළොම්බන්) රුපියල් 50ත් 60ත් අතර දිවුල් ගෙඩියක් රුපියල් 5ත් 20ත් අතර දූරියන් ගෙඩියක් රුපියල් 200ත් 400ත් අතර පරාසයක හැසිරෙමින් තිබිණි. මෙවැනි තත්ත්වයක් තුළ අප රට බහුතර ජනයාට පලතුරු පරිභෝජනයේ ඉලක්ක කරා ළඟාවීම දුෂ්කර වී තිබේ. එබැවින් මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ ඉදිරි කාලය තුළ පලතුරු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක් ළඟා කර ගැනීමේ දී එය විදේශීය වෙළෙඳ පොළට වඩා දේශීය පරිභෝජනය අරමුණු කරගැනීම වඩාත් උචිත බව පෙනේ.

. Bookmark the permalink.

Leave a Reply