යෝජිත හෙද වර්ජනය පිළිකුලෙන් හෙළා දකිනවා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති හිමි

හෙද ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ ඉල්ලීම් ඉටුවෙමින් තිබෙන අවස්ථාවක එක්තරා වෘත්තීය සමිතියක් පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන බවත් නොවැම්බර් 10 සිදු කිරීමට යන වැඩ වර්ජනය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉතාමත් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.



අද (08) රජයේ නිල වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව පැවසීය.

මේ වර්ජනය පටු දේශපාලන වුවමනා මුදුන් පත්කිරීමට සිදුකරන පහත් ක්‍රියාවක්. මෙ සිදු කරන්නේ අසරණ රෝගීන් බිල්ලට ගැනීමයි. මෙය අප සංගමය දැඩි ලෙස හෙළා දකිනවා.

හෙද ව්‍යවස්ථාව 1984 දී ප්‍රකාශයට පත් කළ එකක්. වසර 26ක් යනතුරු මේ කිසිවෙක් මේ පිළිබඳ ව කතා කළේ නැහැ. දැන් ඒ ගැන මතක් වී තිබෙනවා. මෙම හෙද ව්‍යවස්ථාව පිළිබඳව අප සංගමය අතිගරු ජනාධිපති මහින්ද රජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කළා. සංගමය ඉල්ලීම ඉදිරිපත් කළා. ව්‍යවස්ථාව කාලීන වශයෙන් සංශෝධනය විය යුතු ආකාරය සාකච්ඡා කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර එය දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක ව තිබෙන්නේ.

වසර 20ක් ගතවන උසස්වීම් වසර 12 දක්වා අඩු කිරීම, අධි ශ්‍රේණි ඇති කිරීම, හෙද පුහුණුව වසර තුනයි මාස හතරක් දක්වා වැඩි කිරීම වසර 19 කින් පසුව හෙද කවුන්සලයක් ඇති කිරීම ආදී වැඩපිළිවෙළ රැසක් මෙහි ක්‍රියාත්මකයි.

මෙවැනි තත්ත්වයක් තුළ සිදු කරන වැඩ වර්ජනයේ පදනමක් නැහැ. නවක හෙදියන් මුලාකිරීමට ඔවුන් උත්සහ ගන්නවා.
වසර තිහක යුද්ධයෙන් පසුව රට සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරනවා. දැන් රටේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකියි. මේ සිදු කරන්නට හදන්නේ පටු අරමුණු ජයගැනීමටයි.

එම නිසා ලබන 10 දින වැඩ වර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කිසි සෙත් සහාය ලබා නොදෙන අතර උසි ගැන්වීම්වලට නොරැවටී හෙද පිළිවෙත් රකිමින් රාජකාරී කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

. Bookmark the permalink.

Leave a Reply