ආඝාතයේ ඊළඟ ගොදුර ඔබ විය හැක


ලොව මිනිසුන් ආබාධයට පත් කරන මරණයට පත් කරන බියකරු රෝග අතරින් දෙවන තැන හිමිකරගෙන තිබෙන්නේ ආඝාත රෝගය(Stroke)යි. එය ඔබට විශ්වාස කළ හැකි ද?අකමැත්තෙන් වුවත් පිළිගත යුතු සත්‍ය එයයි.ඒඩ්ස් තරම් ම මිනිසාට බලපෑමක් එල්ල කිරීමට මෙම බෝ නො වන රෝගය සමත් වෙලා.

අද (29) ලෝක ආඝාත දිනය ලෙස නම් කර තිබෙන්නේ ලොවට මෙහි ඇති බලපෑම දැනෙන නිසා විය හැකියි. මේ ලිපිය සකස්වන්නේ අදට යෙදී තිබෙන ලෝක ආඝාත දිනය නිමිති කරගෙනයි.

සෑම හය දෙනෙකුගෙන් එක් අයෙක් ජීවිත කාලය තුළ ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවදානම පවතින බවයි ඒ පිළිබඳ පර්යේෂණ සිදුකළ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. මෙය ලෝක මට්ටමින් ගැණෙන විට ඉතා විශාල සංඛ්‍යාවක්.

ආඝාතය හෙවත් Stroke රෝගී තත්ත්වය රෝග ලක්ෂණ රැසකින් සමන්විත බෝ නො වන රෝගයක්. අංශභාග, ශරීරයේ අසාමාන්‍ය හැඩයන්, සුළු හිරිවැටීම්වල සිට ජීවිතයේ අවසාන මරණය දක්වා මෙම රෝගය අප ව කැඳවාගෙන යනවා. මේ රෝගයේ බරපතළකම රෝගියාගෙන් රෝගියාට වෙනස්.

ආඝාත තත්ත්වය අඩු වයසින් වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවයි වෛද්‍යවරුන් පවසන්නේ. වයස අවුරුදු 60ට අඩු එනම් අවුරුදු 25 -40 වයස්වල තරුණ අය ද ගොදුරු වීමේ අවදානම පවතිනවා.

ආඝාතය රටක සංවර්ධනයට බාධාවක්

රකට ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් නියෝජනය කරන්නේ තරුණ ප්‍රජාව. ඔවුන් ඍජු ලෙස රටක ආර්ථික සංවර්ධනයට දායක වෙනවා. මේ නිසාම ඔවුන් රටේ ආර්ථිකයේ සුක්කානම වන්නේ නිතැතින්. එහෙත් ක්ෂණික ව ඇතිවන මෙවැනි ආඝාත තත්ත්වයන් නිසා සංවර්ධනයේ ශ්‍රම බලකායට තර්ජනයක් එල්ල වෙනවා. ඉන් සිදුවන්නේ රටක සංවර්ධනයේ ගමන් මඟට බාධා එල්ල වීම.

එ පමණක් ද නො ව,තුන්වන ලෝකයේ ආඝාත තත්ත්වය සියයට 80%ක් දක්වා ඉහළ අගයකයි පවතින්නේ. මෙය මෙම කලාපයට බරපතල තත්ත්වයක්. මේ බව පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ජාතික විශේෂඥ නිලධාරී වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය. ඇයට අනුව මෙම රෝගී තත්ත්වයෙන් පවුල් සංස්ථාවට සිදු කරන බලපෑම අති මහත්. පවුලේ ආදායම උපයන්නා, තම පියා, මව, සහෝදරිය, සහෝදරයා, ස්වාමිපුරුෂයා, බිරිඳ මේ තත්ත්වයට අකාලයේ ගොදුරු වුවහොත් ඉන් පවුලේ සංවර්ධනයට, පැවැත්මට වන බලපෑම විග්‍රහ කළ හැක්කේ කෙසේ ද? ඒ නිසා ම ආඝාත රෝගය රටක ආර්ථික කොඳු නාරටියට එල්ල කරන්නේ ප්‍රබල තර්ජනයක්.

ආඝාතය ඇති වීමට හේතුව මොකක් ද?...

ආඝාතය ඇතිවීම වෛද්‍ය විධ්‍යාත්මක ව පැහැදිළි කෙරෙන්නෙ මෙලෙසින්. රුධිරය සපයන නාළිකා ජාලගත ව පවතී. විවිධ හේතු නිසා නාළ තුළ ඇතිකරන කොලොස්ටරෝල් තැන්පත්වීමෙන් එම සිදුරු කුඩා වෙයි. මේ නිසා රුධිරය සැපයීම නතර වීම හෝ අඩුවීම නිසා ආඝාතය ඇතිවීමට මුල්වෙයි. අනික් හේතුව නම් රුධිරවාහීනී අවහිර වූ ස්ථාන දුර්වල වී පුපුරායෑමෙන් මොළයේ ඇතිවන අභ්‍යන්තර රුධිර වහනය නිසා ඇතිවන ආඝාතය. මේ අවස්ථා දෙකේ දී ම සිදුවන්නේ මිනිස් මොළයේ කොටසක ක්‍රියාකාරී අවස්ථා බිඳ වැටීම. මේ නිසා මොළයේ පාලනය යටතේ පවතින ශරීරයේ එක් එක් අංග පාලනයෙන් බැහැර වෙනවා. අවයව දුර්වල වෙනවා.

පුරෝකථනය කර ඇති අන්දමට වසර 2020 වන විට ඉතා විශාල ප්‍රතිශතයක් මෙම රෝගයට ගොදුරු වෙන බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකාව තුළ ද බෝ නො වන රෝගවල වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා පවසන්නේ. අතිරේක ලේකම්වරයාට අනුව, වසරකට බෝ නො වන රෝග හේතුවෙන් 250ක් පමණ මිය යනවා. මේ වනවිට ආගාත රෝගීන්ගෙන් මිය යන ප්‍රතිශතය සියයට 11ක් බවයි ඔහු පවසන්නේ.

ලෝක තත්ත්වය සලකා බලන විට ඇත්තේ බියකරු වාර්තාවන්. සෑම තත්පර 06කට වරක් පුද්ගලයෙක් ලෝකයේ කොතැන හෝ තැනක ආඝාතය හේතුවෙන් මරණයට පත්වන බව ලෝක සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා. වසර 2005 වනවිට ලෝකයේ මිලියන 35,000ක් දෙනා මෙම රෝගයට ගොදුරු වී අවසන් බවයි වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය පවසන්නේ.

වෛද්‍ය ජයසූරිය මහත්මිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 60ක් සිදුවන්නේ බෝ නොවන රෝගවලින්. දැන් දැන් තුන්වන ලෝකය මේ අවදානමේ ගිලිලා. එය සියයට 80ක් දක්වා ඉහළ අගයක්.

සුළු ආඝාත තත්ත්වය පැය 24කින් පහව යා හැකියි. අතක් හෝ කකුලක්, මුහුණේ අතිවන හිරිවැටීමක්, එකවර ඇති වී නැති වී යන ක්ලාන්තයක්, කතා කිරීමේ හෝ තේරුම් ගැනීමේ අපහසුතාව, පෙනීම අඩුවීම, ඉතා තද හිසරදය, ශරීරයේ සමබරතාව බිඳී යාම, ඇවිදීමේ අස්ථාවරත්වය ආඝාත රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි.

ඉහත සඳහන් කළ සුළු ආඝාත තත්ත්වය දීර්ඝ කාලයක් පැවතීම පූර්ණ ආඝාතයක ලක්ෂණ විය හැකියි. ශරීරයේ කොටසක පණ නැති වීමේ සිට සදාකාලික ආබාධිකවීම හා මරණය දක්වා මෙම තත්ත්වය වර්ධනය විය හැකියි.

ආඝාතයට හේතුව ...

මෙයට ප්‍රධාන හේතුව ලෙස වෛද්‍යවරු පෙන්වා දෙන්නේ රුධිරනාලවල අවහිර වීම හා අයහපත් ජීවන චර්යාවන්. එමෙන් ම දුම් පානය හා මත්පැන් පානය මෙයට ප්‍රධාන ලෙස බලපානවා.මත්පැන් හා දුම්පානය සමාජය තුළ බොහෝ සෞඛ්‍ය ගැටළු ඇති කරලා.

මේ පිළිබඳ ව අඳහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාපේම මහතා; ආඝාත රෝගයට ගොදුරුවීම වයස අවුරුදු 65 අඩු සියයට 20ක ප්‍රතිශතයක්. මසකට රෝගීන් 40 පමණ වාර්තාවෙනවා. සියයට 37ක් දුම්පානය ඍජු ව ම මෙම ආඝාත රෝගයට හේතු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ.

ශරීරයට අහිතකර ආහාර ගැනීම අද සංස්කෘතික අවුලක් වෙලා. ආඝාත රෝගයට මෙම ඇතැම් කෘත්‍රීම ආහාර ද හේතුවක් වී ඇති බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසන්නේ ලංකාවේ සියයට 80ක් පමණ පෝෂ්‍යදායක ආහාරවලට හුරු වී නො මැති බවයි. පෝෂදායක ආහාර හා යහපත් චර්යා රටාවන් මෙහි දී ඉතාමත් වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වළක්වා ගැනීමට නම්...

ප්‍රධාන වශයෙන් මත්පැන් පානය හා දුම්පානයෙන් ඉවත්වීම වැදගත් බව පවසන වෛද්‍යවරු රුධිර පීඩනය නිරන්තරයෙන් මැන බැලීම, දිනපතා ව්‍යායාම සිදු කිරීම, සීනි සහ ලුණු අඩුවෙන් ආහාර ගැනීම, උසට සරිලන බර තබා ගැනීම, මනස සැහැල්ලු කර ගැනීම හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව පෙන්වා දෙනවා.

එහෙත් මෙහි ඇති අවාසනාවන්ත බව නම් ආඝාතය වැළදීමෙන් අනතුරු ව සියයට 60ක් පමණ පුද්ගලයින් කොටසක් මරණයට හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වෙනවා. මින් සියයට 10ක් පළමු දින 30 ඇතුළත මරණයට ගොදුරු වෙනවා. සම්පූර්ණ සුවය ලබන්නට තරම් වාසනාව ලබන්නේ සියයට 30ක් පමණයි.

අභියෝගය ජයගැනීම...

මෙම රෝගය සුව කිරීමේ දැවැන්ත අභියෝගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ බාරගෙන අවසන්. මේ වනවිට ශ්‍රී ලංකාවේ සියලු ප්‍රධාන රෝහල්වල සී.ටී. ස්කෑනර් මඟින් රෝගීන් පරික්ෂා කිරීම සිදු කෙරෙනවා. ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ, රෝග ලක්ෂණ පහළ වූ වහා ම රෝහලක් කරා රැගෙන ඒමයි කළ යුත්තේ. මේ වනවිට ජාතික රෝහලේ ආඝාත ඒකකය මඟින් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර පුනරුත්ථාපන කටයුතු සිදු කෙරෙනවා.

මෙම රෝගීන් පුනරුත්ථාපනය කිරීමට ද සෞඛ්‍ය අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර අවසන්. එමෙන් ම සමාජ සේවා හා සමාජ සුබ සාධන අමාත්‍යාංශය ද මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගෙන. මෙමඟින් ආබාධිත පුද්ගලයින්ගේ ආර්ථික සුරක්ෂිතතාව හා ඔවුන්ගේ ජීවිත ගොඩනැඟීම සඳහා වැදගත් පියවර රැසක් මේ වන විටත් එම අමාත්‍යාංශය ක්‍රියාත්මක කරලා.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මත සියලු ජනතාවට සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට ඉඩහසර සැලසීම මෙම කාර්යන් ප්‍රායෝගික ව සාර්ථක වීමට හේතුවක්.ආඝාත රෝගය ඇතුළු ස්නායු රෝග සඳහා වසරකට සෞඛ්‍ය අංශය රුපියල් බිලියන 2ක් පමණ වැය කරන බවයි අතිරේක ලේකම් වෛද්‍ය මහීපාල මහතා සඳහන් කරන්නේ.

මේ අනුව ඉදිරි කාලය තුළ දිවයිනේ සෑම ප්‍රාථමික සෞඛ්‍ය ආයතනයක ම මේ රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමටත් දැන් අවධානය යොමු ව තිබෙනවා. මෙය රටක් ලෙස පුරවැසියා වෙනුවෙන් ගනු ලබන වැදගත් මෙහෙවරක් බව සිහිපත් කළ යුතුයි.

කෙසේ වෙතත් රෝගය ඇත්තේ අප තුළ ම යි.එය කාට කොයි මොහොතේ ඇති වෙයි ද?කියා කිව නො හැකියි.එයින් ඔබට මිදීමට නම් වෛද්‍ය උපදෙස් අනුව සියලු අයහපත් චර්යාවන්ගෙන් මිදිය යුතු ම යි.

. Bookmark the permalink.

Leave a Reply