ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට පනහක් (50%) සපුරා ගැනීමේ ඉළක්කයක් කරා ගමන් කිරීමේ සැලැස්මක් උක් පර්යේෂණ ආයතනය සකස් කර තිබීම අප රට සංවර්ධන මාවතේ තබා ඇති ඉදිරි පිම්මක් ලෙස හැඳින්විය හැකි ය. මෙකී ඉලක්කය කරා යාමට අපේක්ෂා කරන්නේ ඉදිරි වසර තුන අවසානයේ ය. එනම් 2015 වන විට ය. සීනි කර්මාන්තයේ නිෂ්පාදන ඵලදායිත්වය හා ලාභදයිතාව වැඩි කොට එහි තිරසාර බව ගොඩනැඟීමට අවශ්‍ය උචිත පර්යේෂණ රැසක් උක් පර්යේෂණ ආයතනය විසින් මේ වන විට සිදූ කර ඇත.

දැනට ශ්‍රී ලාංකික ජනතාවගේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හයලක්ෂ තිස් අට දහසක් (638000) පමණ වන අතර එය සපුරා ගැනීම දූෂ්කර වී තිබේ. මේ නිසා පසුගිය 2008 වසරේ දී සීනි මෙට්‍රික් ටොන් පන් ලක්ෂ හැත්තෑපන් දහසක් (575000) ආනයනය කර ඇත. ඒ සඳහා කර ඇති විදේශ විනිමය වියදම රුපියල් දශ ලක්ෂ 23250 කි.

ඉකුත් කාලය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුබ සීනි කම්හල් දෙකක් වන හිඟුරාන සහ කන්තලේ යන කම්හල් දෙකම පෞද්ගලික ව්‍යවසායකයින් වෙත භාර දී තිබූ අතර ඒවා නැවත රජය වෙත පවරාගෙන යළිත් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ද පියවර ගෙන තිබුණි. එයින් අපේක්ෂා කළේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වැඩි දියුණු කිරීම තුළින් වසරකට සීනි මෙට්‍රික් ටොන් 20000ක් නිෂ්පාදනය කිරීමටත් හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව වැඩි දියුණු කිරීම තුළින් සීනි වසරකට මෙට්‍රික් ටොන් 34000ක් නිෂ්පාදනය කිරීමටත් ය. එය මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට 10 කි.

උක් පර්යේෂණ ආයතනයේ ඉලක්කවලට අනුව රටේ සීනි අවශ්‍යතාවෙන් සියයට 50ක් සපුරා ගැනීමට නම් තවත් සීනි කර්මාන්ත ශාලා පහක් (5) අලුතෙන් ස්ථාපිත කළ යුතු බව හඳුනාගෙන තිබේ. එය ´මහින්ද චින්තන`වැඩසටහනට සමගාමි ව ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව පසුගිය කාලයේ දී අතිරේක වැවිලි බෝග සංවර්ධන අමාත්‍යංශය යටතේ කර්මාන්ත ශාලා පහක් වෙනුවෙන් මූලික වැඩ කටයුතු අරඹා තිබුණී. ඌවවෙල්ලස්ස, බිබිල සීනි කර්මාන්ත ශාලාව ඉන් එකකි. එයින් අප රටට අවශ්‍ය සීනි අවශ්‍යතාවෙන් තවත් සියයට 15ක් සපුරා ගැනීමට හැකියාව ඇත.

මෙයට අමතරව අලුතෙන් ඉදි කිරීමට යෝජිත සියඹලාණ්ඩුව සීනි කර්මාන්ත ශාලාවෙන් අප රටේ සීනි අවශ්‍යතාවෙන් සියයට 10 ක් ද, කුරුණෑගල හා අනුරාධපුර ඉදි කිරීමට යෝජිත සීනි කර්මාන්ත ශාලා තුනකින් ඉතිරි සම්පූර්ණ ප්‍රමාණය ම ද සපුරා ගැනීමට බලාපොරොත්තු වෙයි.
සියඹලාණ්ඩුව හා අනුරාධපුර සීනි කම්හල් සඳහා ඉදිකිරීමට අදාල ඉඩම් ද හඳුනාගෙන අවසන් කර ඇත.
ඌව වෙල්ලස්සේ බිබිල සීනි කම්හල පිහිටුවීමත් සමඟ ඊට සමගාමි ව පුළුල් පරාසයක් ආවරණය වන සංවර්ධන ක්‍රමවේදයක් ද භාවිත වෙයි. කර්මාන්ත ශාලාවට අවශ්‍ය උක් අස්වැන්න සඳහා බදූල්ල, මොණරාගල හා අම්පාර යන දිස්ත්‍රික්කවල උක් වගා කිර්ිමට නියමිත ය. එම දිස්ත්‍රික්කවල පිහිටි රිදීමාලියද්ද, බිබිල, මැදගම, මඬුල්ල, මොණරාගල, බඩල්කුඹුර, පදියතලාව, මහඔය, ලුණුගල, මීගහකිවුල හා මහියංගනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඊට අයත් වෙයි.

ග්‍රාම සේවා නිලධාරි කොට්ඨාස 299ක ඉඩම් අක්කර 90000ක් වගාව සදහා හඳුනාගෙන ඇත. උක් වගා සඳහා ගොවීන් 28000ක් සිය කැමැත්තෙන් ඉදිරිපත් වී ඇති බව උක් පර්යේෂණ ආයතනය කියයි.
ඌව වෙල්ලස්ස බිබිල සීනි කම්හල පිහිටුවීමට ලංකාවේ ආයෝජකයින් මෙන් ම අවශ්‍ය විදේශීය තාක්ෂණය ද සොයාගෙන ඇති අතර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි මට්ටමේ ඇති බව ද එම ආයතනය පවසයි.

කර්මාන්ත ශාලාවෙන් පමණක් ඍජු රැකියා 1500ක් ද වක්‍ර රැකියා 35000ක් ද බිහිවන අතර එය ප්‍රදේශයේ විරැකියාවෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් කෙරෙන මහඟු අයෝජනයක් වෙයි. ඒ හැරුණු විට ප්‍රදේශයේ ට්‍රැක්ටර්, බස්රථ, ත්‍රී වීල් හා ලොරි හිමියනට අමතර ආදායම් මාර්ග සැලසෙනු ඇත. නිල නිවාස, පාසැල්, රෝහල් හා ජල පද්ධති අලුතෙන් නිර්මාණය වෙයි. මෙකී සමස්ත ප්‍රදේශය ම කේන්ද්‍ර කරගෙන ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන අතර නව වාරිමාර්ග, ඵීදූලි සංදේශ සේවා හා කුඩා නගර ඇතුළු පහසුකම් ලබාදීම වෙනුවෙන් වෙන ම රුපියල් දශ ලක්ෂ 4000ක් වෙන් කර ඇත.

ඌව වෙල්ලස්ස බිබිල නව සීනි කර්මාන්ත ශාලාවෙන් පමණක් එතනෝල්, සත්ව ආහාර, මොලැසස්, විනාකිරි හා පොහොර නිෂ්පාදනය කරන අතර එයින් මෙගා වොට්ස් 25ක ධාරිතාවකින් යුක්ත විදුලි බලයක් ද උත්පාදනය කිරීමට නියමිත ය. එයින් ලැබෙන මුළු ආදායමේ වටිනාකම රුපියල් දශලක්ෂ 360කි. කන්තලේ හා හිඟුරාන සීනි කම්හල් නවීකරණය කිරීමෙන් මෙගා වොට්ස් 20ක පමණ විදූලි බලයක් නිපදවෙයි. එම කම්හල් දෙකෙන් හා බිබිලේ සීනි කම්හලෙන් නිපදවෙන එතනෝල් ස්ප්‍රීතු ලිටර් මිලියන 25ක ප්‍රමාණය පෙට්‍ර්ල්වලට මිශ්‍රකර ලාභදායි මිලකට බනිජ තෙල් සංස්ථාව මඟින් මහජනයා වෙත අලෙවි කිරීමට ද අවධානය යොමු වී තිබේ

. Bookmark the permalink.

Leave a Reply